2024 වර්ෂය සඳහා නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

2024 ஆம் ஆண்டுக்கான இலசவப் பாடசாலைப் பாடநூல்கள் கோரல்

Ordering free school textbooks for the year 2024


2024 වර්ෂය හා ඉන් ඉදිරියට පාසල් මට්ටමින් පෙළපොත් අවශ්‍යතා ලබා ගැනීම මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව පහත පියවර අනුගමනය කරමින් ඔබගේ පාසල/ පිරිවෙන සඳහා පෙළපොත් ඇණවුම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණික ව දන්වමි.

01. ඔබ පාසලට අදාළ ව මාර්ගගත ව පෙළපොත් ඇණවුම් කිරීමේ ලේඛනය ඉහත දැක්වෙන තීරයේ ඇති Form-Download කොටස Click කර බාගත කර, මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගත හැක. සම්පූර්ණ කරන ලද මුද්‍රිත ආකෘති පත්‍රය ඇසුරින් මාර්ගගත පෙළපොත් ඉල්ලුම් කිරීම කාර්යක්ෂමව සිදු කළ හැකිය.ඔබ පාසලට අවශ්‍ය පෙළපොත් නිකුත් කිරීම සඳහා පෙළපොත් අවශ්‍යතාව මාර්ගගත ව ඉල්ලුම් කිරීම අනිවාර්යය වේ.

ආකෘති පත්‍රය පිරිවෙන් / පාසල් වර්ගය
Form A ප්‍රාථමික අංශය - 1 සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්
Form B ප්‍රාථමික හා ද්විතීයික - 1 සිට 11 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්
Form C ප්‍රාථමික , ද්විතීයික හා උසස් පෙළ - 1 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල්
Form D ද්විතීයික - 6 සිට 11 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්
Form E ද්විතීයික හා උසස් පෙළ - 6 සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්
Form F උසස් පෙළ - 12 සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්

02. පෙළපොත් ඇණවුම් අවශ්‍යතා ලේඛනය සම්පූර්ණ කිරීම

  1. ඇණවුම් ලේඛනය සම්පූර්ණ කිරීමට ප්‍රථම ඔබ පහත තොරතුරු සකස් කර ගත යුතු වේ.
    1. එක් එක් පෙළපොතට අදාළ විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ( Total Students)
    2. සිසු අවශ්‍යතාවට අතිරේක ව අවශ්‍ය වන පෙළපොත් සංඛ්‍යාව (Additional Books)
      • උදා - ගුරු භවතුන්ට අවශ්‍ය පොත් ප්‍රමාණය
      • ඉල්ලුම් කළ හැකි උපරිම අතිරේක පොත් සංඛ්‍යාව 5කි.
    3. පාසලට 2023 වර්ෂයේ හා ඊට පෙර වර්ෂවලදී ලැබුණු අළුත් පෙළපොත් සංඛ්‍යාවෙන් සිසුන්ට නොබෙදා ඉතිරි වූ පොත් සංඛ්‍යාව. (Remaining Books)
    4. 2023 වර්ෂයේදී සිසුන්ට බෙදා දෙන ලද අළුත් පෙළපොත් සංඛ්‍යාව.(Distributed Books)
  2. 2024 වර්ෂය සඳහා පෙළපොත් නැවත භාවිතා කිරීම පහත වගුවේ සඳහන් ප්‍රතිශත අනුව සිදුවේ.පෙළපොත් නැවත භාවිත කරන ශ්‍රේණිවල දී , 2023 වර්ෂයේදී සිසුන්ට බෙදා දෙන ලද අළුත් පෙළපොත් සංඛ්‍යාව (Distributed Books) මාර්ගගත පද්ධතියට ඇතුළත් කරන විට නැවත භාවිත සංඛ්‍යාව (Reusing Books ) ස්වයංක්‍රීය ව ලැබේ.

ශ්‍රේණිය පෙළපොත් නැවත භාවිතය
1,2 ශ්‍රේණි නැවත භාවිත නොවේ.
3,4,5 ශ්‍රේණි ආගම පෙළපොත් -2023 සිසුන්ට ලබා දෙන ලද අළුත් පොත්වලින් 20% ක්.
අනෙකුත් පොත් නැවත භාවිත නොවේ.
6 ශ්‍රේණිය 2023 සිසුන්ට ලබා දෙන ලද අළුත් පොත්වලින් 60% ක්.
වැඩ පොත් නැවත භාවිත නොවේ
7,8,9 ශ්‍රේණි 2023 සිසුන්ට ලබා දෙන ලද අළුත් පොත්වලින් 80% ක්.
වැඩ පොත් නැවත භාවිත නොවේ
10,11 ශ්‍රේණි නැවත භාවිත නොවේ.
12 ශ්‍රේණිය නැවත භාවිත නොවේ.

03. වැඩි දුර උපදෙස්

  1. 1-5 ශ්‍රේණි (ප්‍රාථමික අංශය) පමණක් ඇති පාසල්හි විදුහල්පතිවරුන් තම පාසලෙන් 5 ශ්‍රේණිය සමත්වන සිසුන්ට අවශ්‍ය 6 ශ්‍රේණියේ සිංහල / දෙමළ මාධ්‍ය පොත් පමණක් අයදුම් කර ඔවුන් නව පාසලට යාමට පෙර ඒවා ලබා දිය යුතුය.
  2. 6-11, 6-13 ශ්‍රේණි පරාසය සහිත හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂය උගන්වන පන්ති සහිත පාසල්වල විදුහල්පතිවරුන් තම පාසලේ 6 ශ්‍රේණියේ දැනට සිටින ඉංග්‍රීසි මාධ්‍ය විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යා සැලකිල්ලට ගෙන 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය විෂය පොත් ඉල්ලුම් කළ යුතු වේ. මෙම පාසල්වල විදුහල්පතිවරුන් 6 ශ්‍රේණියේ සිංහල / දෙමළ මාධ්‍ය පොත් ඉල්ලුම් නොකළ යුතු වේ.
  3. උසස් පෙළ 12 ශ්‍රේණි පන්ති සහිත පාසල් විදුහල්පතිවරුන් විසින් 12 ශ්‍රේණියේ සිසුන්ට ලබා දෙන සාමාන්‍ය ඉංග්‍රීසි (General English) පොත් අවශ්‍යතාව ද ආකෘතියෙහි සඳහන් කළ යුතුය.
  4. සියලු වැඩපොත් අදාළ ශ්‍රේණිවල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ම ගණන් බැලිය යුතු ය. වැඩ පොත් සඳහා නැවත භාවිතා කළ පොත් යොදා නොගත යුතුය.
  5. ඇතැම් පෙළපොත් කාණ්ඩ කිහිපයකින් යුතුව මුද්‍රණය කරනු ලැබේ. එවැනි පෙළපොත්වල සියලුම කාණ්ඩ අවශ්‍යතා වෙන වෙනම ගණනය කළ යුතු වේ.(උදා - කාණ්ඩ I/ කාණ්ඩ II)
  6. ඔබ විසින් ඉල්ලුම් කරනු ලබන පෙළපොත් සංඛ්‍යා ඔබගේ පාසලේ ශිෂ්‍යයන් හා විෂය ඉගැන්වීම් කරන ගුරු භවතුන් සඳහා පමණක් විය යුතු ය. ඔබ විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා පාසල් සංගණන තොරතුරු සමග සසඳා බලනු ලැබේ.


04. දත්ත පරිගණකගත කර පෙළපොත් ඇණවුම් කිරීම

  1. පෙළපොත් ඇණවුම් කිරීමේ දත්ත පද්ධතියට පිවිසීම සඳහා සෑම පාසලකට ම වෙනම Username සහ Password ලබා දී ඇත. පරිගණකයට දත්ත ඇතුළත් කිරීම සඳහා ලියාපදිංචි වන පළමු අවස්ථාවේදී නව මුර පදයක් (New Password) පාසල මගින් සකස් කර ගත යුතුය. මෙම Username සහ New Password වල රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි සටහන් කර සුරක්ෂිතව තබාගැනීම විදුහල්පතිවරයාගේ / පෙළපොත් කටයුතු භාර ගුරුභවතාගේ වගකීම වේ.
  2. අලුතින් ආරම්භ කිරීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ යම් පාසලකට දත්ත පරිගණකගත කිරීම සඳහා Username සහ Password ලැබී නොමැති නම් මෙම දුරකථන අංක 011-2785306 ට හෝ epd.distribution@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට ඒ බව දැනුම් දී Username සහ Password ලබා ගැනීමට කටයුතු කළ යුතුය. යම් පාසලක ප්‍රාථමික අංශය හා ද්වීතියික අංශය වෙන් කර දැනට පාසල් දෙකක් ලෙස පවත්වා ගෙන යනු ලබන්නේ නම් ලබා දී ඇති Username සහ Password ඉන් එක් පාසලකට ලබා දී අනෙක් නව පාසලට නව Username සහ Password ලබා ගත යුතුය. එපරිදිම යම් පාසලක සිංහල හා දෙමළ අංශ දෙක ප්‍රාදේශීය පෙළපොත් මධ්‍යස්ථාන දෙකකින් පොත් ලබා ගන්නේ නම් එම අංශ දෙකෙන් එකකට වෙනම Username සහ Password ලබා ගත යුතු වේ.
  3. පසුගිය වර්ෂයේ දී දත්ත පද්ධතියට ඇතුළත් කළ මූලික තොරතුරු ලියාපදිංචියෙන් පසුව View Profile වෙත පිවිසීමෙන් පසුව පරීක්ෂා කළ හැකි අතර, එම තොරතුරු වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් පෙළපොත් ඇණවුම් කිරීමට අදාළ දත්ත ඇතුළත් කිරීමට පෙර නිවැරදි කරන්න.
  4. ඉන්පසුව ශ්‍රේණි අනුව අදාළ දත්ත ඇතුළත් කරන්න.
  5. ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමේදී හා පරිගණක දත්ත ඇතුළත් කිරීමේදී නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම විදුහල්පතිවරයාගේ වගකීම වේ.
  6. 2023.09.08 දින සිට 2023.09.23 දින දක්වා ඔබගේ පෙළපොත් අවශ්‍යතා පරිගණකගත කළ හැකි අතර එම කාලසීමාව ඇතුළත අවශ්‍ය වේ නම් ඔබගේ දත්ත සංශෝධනය කිරීමට අවසර දෙනු ලැබේ‍.
  7. දත්ත ඇතුළත් කර අවසන් කළ පසුව view data මඟින් පාසලට අදාළ පෙළපොත් ඇණවුමේ පිටපතක් බාගත (download) කර මුද්‍රණය කරගන්න.
  8. ලබා ගන්නා ලද මුද්‍රිත පිටපතෙහි විදුහල්පති අත්සන යොදා පාසලේ පෙළපොත් ඇණවුම් කිරීමේ ගොනුවට ඇතුළත් කර සුරක්ෂිතව තබා ගන්න
  9. ආකෘති පත්‍ර ලබා ගැනීම සඳහා හෝ ඇණවුම් තොරතුරු පරිගණකගත කිරීම සඳහා පරිගණක පහසුකම් නොමැති පාසල් සඳහා කලාප අධ්‍යාපන කාර්යාලය මගින් හෝ කලාපයේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන මගින් හෝ එම පහසුකම් ලබා ගැනීමට කලාප අධ්‍යාපන කාර්යාලයේ පෙළපොත් සම්බන්ධීකරණ විෂය භාර නිලධාරියා දැනුවත් කළ යුතු වේ.
  10. පෙළපොත් සෘජුවම පාසල වෙත ලබා ගන්නා පාසලක් නම් ආකෘති පත්‍රයේ පිටපතක් පාසලට පෙළපොත් ලැබීම් සලකුණු කිරීමට භාවිතා කළ යුතු වේ. බෙදාහැරීමේ මධ්‍යස්ථානයකින් පෙළපොත් ලබා ගන්නා පාසලක් නම් තමන්ට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් පෙළපොත් ලබා ගැනීමේ දී මෙම ආකෘති පත්‍රය ඉදිරිපත් කර තම පාසලට අදාළ පෙළපොත් සංඛ්‍යාව වෙන් කර ගැනීම සිදු කළ යුතු වේ.

උපදෙස් සිංහලෙන් භාගත කරන්න

2024 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන පෙළපොත් සාර්ථකව බෙදා හැරීම සඳහා මෙම දත්ත පද්ධතිය නිවැරදිව පරිශීලනය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ඔබ සියලු දෙනාගේ සහාය ලැබා දෙනු ඇතැයි අපේක්ෂා කරමි.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්




Log In